දළදා වන්දානාවට කලියෙන් කියවන්න | හේමමාලා_කරඬුව

 හේමමාලා කරඬුව

දළදා වහන්සේ ලංකාවට වැඩමකරවුයේ  හේමමාලා කුමරිය හා දන්තකුමරු විසිනි.ඒ ඉන්දියාවේ සිටය.එහිදි හේමමාලා කුමරිය දළදා වහන්සේ සිය කෙස් කළඹේ සගවාගෙන පැමිණියාය.ඒ කිසිම සතුරෙකුට හසුනොවන ආකාරයටය.දළදා වහන්සේ කුමරිය කෙස් කළඹේ රුවාගෙන පැමිණියේ නිමක්ම නොව කුඩා කරඩුවක තැන්පත් කිරිමෙනි.මෙම කරඩුව නිර්මාණකර ඇත්තේ  දළදා වහන්සේගේ ප්‍රමාණයටය.ඒ හැඩයටය.මේ කරඩුවේ පිටත වටේට රතු මැණික් ගල් අල්වා තිබේ.මෙම මැණික් ඔප මට්ටම් නොකළ ඒවා වීම විශේෂයකි.මෙම කරඩුව හිස කෙස් අස්සේ රුවාගෙන ආ හැකි අන්දමින් නිර්මාණය කර තිබෙන්නකි.එදා හේමමාලා කුමරිය දළදා වහන්සේ රැගෙන ආ කුඩා කරඩුව තවමත් දළදා මාලිගාවේ තිබිම විශේෂයකි.මෙම කරඩුව ඇත්තේ දළදා වහන්සේ වැඩ සිටින මහ කරඩුව තුළය.එය හේමමාලා කරඩුව ලෙස හැදින්වේ.එහි යට පාදමක් ඇති අතර පාදම ඉවත්කර දළදාව ඒ තුළට ඇතුල් කළ හැකි ආකාරයෙන් එය නිමවා තිබේ.


     දළදා වහන්සේ වැඩ සිටින්නේ වෙනත් කරඩුවක නිසා හේමමාලා කරඩුවද ඒ අසලම තිබේ..1982 දළදා ප්‍රදර්ශනය අවසානයේදි දළදා කුටියට  දළදාව වැඩමවු පසු දියවඩන නිලමේ ආචාර්ය නිශ්ශංක විජයරත්න ඉන් ඉවත්ව ගියේ ඉතිරි රාජකාරි කටයුතු වැඩබලන දියවඩන නිලමේ නෙරංජන් විජයරත්නට පවරමිනි. මල්වතු පාර්ශවයේ මහනායක සිරිමල්වත්තේ ආනන්ද හිමි,අස්ගිරි පාර්ශවයේ මහනායක පලිපාන චන්දානන්ද හිමි,මල්වතු පාර්ශවයේ අනුනායක මැණික්දිවෙල පේමරතන හිමි,අස්ගිරි පාර්ශවයේ අනුනායක හාල්යාලේ සුමනතිස්ස හිමි,මල්වතු පාර්ශවයේ පහමුණේ ගුණානන්ද නාහිමි,අස්ගිරි පාර්ශයේ ලේඛකාධිකාරි පලිපාන සිරිනිවාස නාහිමියෝ  ඒ මොහොතේ එහි වැඩ සිටියහ.


  මෙහිදි නාහිමිවරුන් කතාවි පරික්ෂණයක් කළහ.ඒ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවුයේ එහි තිබෙන හේමමාලා කරඩුවේ යන්න නිරික්ෂණයක් කිරිමටය.මාලිගාවේ රාජකාරිකරුවන්ද  දළදා කුටියෙන් පිටත්කර කුටිය වසා දැමු නාහිමිවරු  දළදා වහන්සේ පට ලේන්සුවෙන් ගෙන හේමමාලා කරඩුවේ පාදම ගලවා ඒ තුළට දළදා වහන්සේ ඇතුළු කළහ.ඒ පරික්ෂණය සාර්ථක විය.දළදා වහන්සේගේ ප්‍රමාණයටම හේමමාලා කරඩුව නිර්මාණය කර ඇති බව ඔප්පුවිය.අනතුරු නාහිමිවරුන් නැවතත් දළදා වහන්සේ හේමමාලා කරඩුවෙන් ගෙන නියමිත කරඩුවේ තැන්පත් කෙරිණ. ඒ අනුව පෙනි යන්නේ දළදාවේ ආරක්ෂාවට රටපුරා විවිධ ස්ථානවලට රහසේ වඩම්මන විට මෙන්ම රජවරුන්ගේ භාරයේ පවතින විටත් දළදා වහන්සේ තැන්පත් කර ඇත්තේ මෙම අදත් දළදා මාලිගාවේ ඇති හේමමාලා කරඩුවේ බවය.


ධර්ම ශ්‍රි තිලකවර්ධන මහතාගේ ලිපියකින් මෙම කරුණු උපුටා ගන්නා ලදි.


තෙරුවන් සරණයි ..!

Post a Comment

0 Comments